Sunday, February 14, 2010

නුඹ රහසින් ඇවිත්, මගේ ලොවම හීනයක් කළා...

හිනා වෙන්න බැරි තරමට, හඬාගන්න බැරි තරමට //
නුඹේ නමින් මගේ හිතේ තැනූ මාලිගා... තැනූ මාලිගා...

කථා කියන තරු දෑසට, ලියා දෙන්න මදි අහසම //
නුඹේ නමින් මගේ හදේ මැවෙන ගීතිකා... මැවෙන ගීතිකා...

දෙතොල නම් ගොළුයි... මුව කමල මල් සමයි....
හිතට නෙතට සුවඳ ගෙන තියා...
නුඹ රහසින් ඇවිත්, මගේ ලොවම හීනයක් කළා...

අහස නම් දුරයි... සඳ නේන වග සැබැයි...
සඳට රැයට, තරුවලට හොරා...
නුඹ නොකියා ගිහින්, මගේ පාළු දෙනෙත බොඳ කළා...

හිනා වෙන්න බැරි තරමට, හඬාගන්න බැරි තරමට
කථා කියන තරු දෑසට, ලියා දෙන්න මදි අහසම
නුඹේ නමින් මගේ හිතේ තැනූ මාලිගා... මැවෙන ගීතිකා...

මේ ගීතය මට ලැබුනේ දවස් කිහිපයකට කලින්. අනුත්තරා කියන ගුවන් විදුලි නාට්‍යයේ තේමා ගීතය තමයි මේක.

මේ ගීතය සවන් වැකෙන කොට, මගේ හිත දිව ගියා මීට අවුරුදු දහයකට විතර ඉස්සර මගේ ප්‍රේම කථාව පටන් ගත්ත අවධියට. ඇයගේ කැමත්ත ලැබෙයිදෝ නොලැබෙයිදෝ කිය කියා අන්ත දෙකක් අතර දෝලනය වෙවී හිටපු කාලයක් මටත් තිබුනා... ඇත්තටම, ඒ කාලේ ඒ ආදරේ නාමයෙන් විඳවපු දුක කොයි තරම් රසවත් ද කියලා මට අද හිතෙනවා...

අපි කවුරුත් එදා සිහින මැවුවේ ආදර සටනින් ජය ගන්නේ කවදද කියලා... නමුත්, නියම රසය තියෙන්නේ ඒ සටනේ කියලයි මට නම් හිතෙන්නේ... ආදරෙන් ජයගත්ත අයට නරකක් කියනව නෙවෙයි... නමුත් ඒ දුක් විඳ විඳ මගේම කියල මනෝ ලෝකයක ගෙවපු කාලය තුල පුදුමාකාර මිහිරියාවක් තිබුනා....

රස විඳින්න ඒ ගීතය මෙතැනින්:

Saturday, February 13, 2010

ප්‍රේමයේ මන්දහාසිනී

ප්‍රේමයේ මන්දහාසිනී... යෞවනේ සිහින සාධනී
නීල නයන නිල් දියේ සීත නලින නිම්නයේ
පාව යයි සුන්දරයි ජීවිතේ
ප්‍රේමයේ මන්දහාසිනී...

තාරකා නිව දමන්න නෙත් කැලුම් විදා
මා සිතේ විඩා නිවන්න පෙම් පවන් සලා
සඳත් වසන් වෙලා රැයක් මුදුන් කලා
පාව යයි සුන්දරයි ජීවිතේ

ප්‍රේමයේ මන්දහාසිනී...


මාලතී වනේ රැඳෙම්ද මල් යහන් තලා
මී විතේ අමා පුරම්ද රත් ලවන් පෙලා
සුසුම් පවන් ගලා හැඟුම් දියත් කලා
පාව යයි සුන්දරයි ජීවිතේ

ප්‍රේමයේ මන්දහාසිනී...


මේ ගීතයත්, මම පිස්සුවෙන් වගේ අහපු ගීතයක්. ඒකෙ සංගීතය වගේම දිවුල්ගනේ ගෙ ලයාන්විත කටහඬ ඒ පද මාලාවට අපූරුවට ගැලපෙනවා...

රස විඳින්න ඒ ගීතය මෙතැනින්:

Tuesday, February 9, 2010

සුදු පාට මල් පිපුනු...

සුදු පාට මල් පිපුනු අරලියා හෙවන යට
බාලිකාවේ සුවඳ තනිවෙලා
අපි ඉතින් වෙන්ව යමු අපි අතින් ගිලිහි ගිය
සියළු දේ අතීතෙට පවරලා

ඇසල සඳ දිය නොවුන ඈත වැව් තල කොනෙක
ගයා නිම වූ කවිය ඉකි බිඳී...
අපට අප පමණක් නොවේ නැණ නුවන් සැදුව
තක්සලාවත් අහිමි වීලා...

සුදු පාට මල්....

සිනා සරදම් පිරුණු පන්ති කාමර අතර
ගෙවී ගිය මල් සමය සිහිනෙකී...
සඳට ඉකිබිඳ හඬන නොදරුවන් නොවී අපි
සිනාසෙමු අතීතෙට සෙනෙහසින්....

සුදු පාට මල් පිපුනු...

ගායනය: කරුණාරත්න දිවුල්ගනේ

මේ ගීතය ඇහෙනකොට මට ඇතිවෙන හැඟීම ඇත්තටම කියලා නිම කරන්න බැහැ. පාසල් සමය නිම වෙලා දැනට වසර දහයකට වඩා ගත වෙලා ගියත්, එදා ඒ අත් විඳපු චමත්කාරජනක හැඟීම් අදටත් මගෙ හිත හිරිගඩු නංවමින් සීතල සුලං පොදක් වගේ මා අසලම සැරි සරනවා කියලා මේ ගීතය අහද්දී මට දැනෙනවා.

පාසල් වියේ අත්දුටු ඒ සුන්දර හැඟීම්, ජීවිතයේ හැල හැප්පීම් එක්ක, දුක් කම් කටොලු එක්ක ටිකින් ටික අමතක වේගන යන්න ආවත්, මේ ගීතය ඇහෙන කොට ඒ මතකයන් අවදි වී, මොහොතකට හෝ ආයෙමත් ඒ යුගයට යන්න ඇත්නම් කියලා හිතෙනව...

රස විඳින්න ඒ ගීතය මෙතැනින්: